මේ දිනවල පාසල් දරුවන් අතර විශේෂයෙන් පැතිර යන වෛරස ඇස් ආසාදනය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙනවා.
වෛරසයක් මගින් ඇතිවෙන මෙම බෝවෙන අක්ෂි රෝගය ( Viral Conjunctivitis) "ඇස් ලෙඩ", "ඇස් අමාරුව" වැනි වචනවලින් පොදුවේ අපි හඳුන්වනවා. ඇසේ අපිට පෙනෙන සුදු පැහැති කොටසේ පිටතින්ම පිහිටි පටලමය ස්ථරය මෙහිදී ප්රදාහයට ලක්වෙනවා. සාමාන්යයෙන් මෙය මුලින් එක් ඇසකට වැළඳී පසුව අනිත් ඇසටත් පැතිර යා හැකියි.
ඔබ දැනටමත් දන්නා පරිදි මෙම රෝගය බෝ වෙන්නේ ආසාදිත පුද්ගලයෙකුගේ වෛරස සහිත කඳුළු සහ ශ්වසන ස්රාවයන් කෙලින්ම ඇසෙහි තැවරීමෙන් හෝ, ආසාදිතයෙකුගෙන් පිටවූ බිඳිති තැන්පත් වී ඇති ඇති පෘෂ්ඨයක් අල්ලා අපිරිසිදු අතින් ඇස් ස්පර්ශ කිරීම මගින්.
සාමාන්යය ව්යවහාරයේ "සුදු ඉංගිරියාව" ලෙස හැදින්වෙන කොටස රතු වීම, ඉදිමීම, ඇසෙන් වැඩිපුර කඳුළු ගැලීම, ඇස තුළ බාහිර යමක් පවතිනවා වැනි අපහසුවක් දැනීම, සැරව හෝ ශ්රාවයන් පිටවීම, විශේෂයෙන්ම අවදි වන විට දී ඇසිපිය හා ඇස් පිහාටු ආශ්රිතව කබොලු දක්නට ලැබීම මෙවැනි ආසාදනයකදී සුලභව දකින්නට ලැබෙන රෝග ලක්ෂණ වෙනවා. ඇස් කාච පලඳින අයට එය භාවිතය අපහසු බව දැනීමත් මෙවැනි අවස්ථාවක සිදු විය හැකියි.
ඇතැම් අයට මේ සමඟ සෙම්ප්රතිශ්යාව උණ වැනි ස්වසන රෝග ලක්ෂණත් ඇතිවිය හැකියි.
දරුවෙකුට මෙවැනි රෝග ලක්ෂණ පවතී නම් මුලින්ම ලබාදිය යුතු උපදෙස වන්නේ ඇස් අතින් ඇල්ලීම සහ පොඩි කිරීමෙන් වැළකීමයි. සබන් යොදා තප්පර විස්සකට වඩා අතුල්ලා අත් සෝදා ගැනීමෙන් හෝ විෂබීජ නාශක ද්රාවණයක් යොදාගෙන නිතර අත් පිරිසුදු කර ගැනීමත් ඉතාම වැදගත්.
රෝග ලක්ෂණ ඇති වූ අවස්ථාවේ සිට සම්පූර්ණයෙන් සුව වන තුරු පාසැල් යාමෙන් වැළකී හැකිතාක් නිවසට වී සිටීම රෝග පැතිරීම වැළැක්වීමට විශාල උපකාරයක්.
මෙවැනි රෝග ලක්ෂණ වෙනත් විවිධ හේතූන් නිසාත් ඇති වීමට ඉඩ තිබෙන නිසා වෛද්ය උපදෙස් / අවශ්යතාවය අනුව ප්රතිකාර ලබා ගැනීමත් වැදගත්.
රෝගය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා දරුවන් ඉහත පැහැදිලි කළ පරිදි නිරන්තරයෙන් දැන් පිරිසුදු කර ගැනීමට, රෝග ලක්ෂණ ඇති අය සමඟ ශාරිරීක දුරස්ථ භාවය පවත්වා ගැනීමට, පෑන් පැන්සල් වැනි උපකරණ කිසිවක් හුවමාරු කර ගැනීමෙන් වැළකීමට යොමු කළ යුතු වෙනවා. පොදුවේ / නිතර භාවිතා කරන පෘෂ්ඨ පසුගිය කොවිඩ් වසංගත සමයේ සිදු කළ පරිදි විශබීජ නාශක දියර භාවිතා කරමින් විශබීජහරණය කර ගැනීමත් රෝගය පැතිරීම සීමා කිරීමට උදව් වෙනවා.
මෙම ආසාදනය බොහෝ දෙනෙකුට අතුරු ආබාධයක් ඇති නොවී සුවවන රෝග තත්ත්වයක් වුවත් ඇතැම්විට ඇතිවිය හැකි සංකූලතා සහ සීග්රයෙන් පැතිරී යාමෙන් සිසුන්ගේ අධ්යාපනයට ඇතිවිය හැකි බාධාවන් පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් වහාම ක්රියාත්මක වන ලෙස දෙමාපිය/ වැඩිහිටි ඔබගෙන් අප ඉල්ලා සිටින අතර ඒ වෙනුවෙන් ඔබගේ දරුවන් යොමු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.