මුත්‍රා පරීක්ෂාවක් මගින් තහවුරු කර ගත් සෑම ගැබ්ගැනීම් 8 කටම එකක් ගබ්සාවීමට ලක් වෙනව. මෙවැනි අත්දැකීමට මුහුණ දෙන බොහෝ දෙනෙක් අසන ගැට‍ළුවක් තමයි ඊට හේතුවෙන කාරණා මොනවාද යන්න. ගබ්සාවීම් වලින් වැඩි ප්‍රතිශතයක් සිදු වෙන්නෙ ගර්භණී සමයේ මුල් මාස තුන තුලයි.

ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එක්වීමෙන් ඇති වෙන යුක්තාණුව ගර්භාෂය තුල තැන්පත් වීමෙන් පසු කලලයක් ලෙස වර්ධනය වෙනව. මෙම ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය වෙන බොහෝ දේ තිබෙනව. ඉන් කිසියම් හෝ සාධකයක අඩුපාඩුවක් නිසා ගබ්සාවීමක් සිදු වෙන්න පුළුවන්.

නිරෝගී දරුවෙකු වර්ධනය වීමට අවශ්‍ය වෙන ප්‍රධානතම කරුණක් තමයි දරුවාගේ ජාන සංයුතිය නිවැරදිව පිහිටා තිබීම. අපේ සිරුරේ සෑම සෛලයකම වර්ණදේහ 46 ක් තිබෙනව. මේවායින් 23 ක් පියාගෙනුත්  23 ක් මවගෙනුත් උරුම වෙන්නේ. මෙම වර්ණදේහ සංයුතියේ කිසියම් වෙනසක් ඇතිවුවොත් එම කලලයට සාමාන්‍ය නිරෝගී දරුවෙකු ලෙස වර්ධනය වීමට හැකියාවක් නැහැ. මෙවැනි අසාමාන්‍ය තත්වයන් තිබෙනව බොහෝ කලලයන් මුල් මාසය තුලදීම ඔබ ගැබ් ගැනීමක් සිදුවී ඇති බව දැන ගන්නටත් පෙර ගබ්සා වෙනව. ඉතිරිවෙන අසාමාන්‍ය කලලයන් තමයි මුල් මාස තුන තුල සිදුවෙන ගබ්සාවීම් වලින් වැඩි ප්‍රතිශතයකට හේතු වෙන්නෙ. ඊට අමතරව වෙනත් ජානමය සහ ශාරීරික අසාමාන්‍ය තත්වයන් ඇති කලලයනුත් මෙලෙස ගබ්සාවීමට ලක් වෙනව. එවැනි ගබ්සාවන් සිදුවන්නේ ස්වභාවිකව අසාමාන්‍ය දරුවන් ඇතිවීම වළක්වන ස්වභාවික වරණය ක්‍රියාවලිය ලෙසයි. වෛද්‍ය ප්‍රතිකාර වලින් හෝ වෙනත් කිසිම ක්‍රමයකින් මෙවැනි ගබ්සාවන් වළක්වා ගන්න හැකියාවක් නැහැ.

දරුවාට කිසිම අසාමාන්‍ය තත්වයක් නොමැති විටත් ගබ්සාවෙන අවස්තා තිබෙනව. එ්වාට හේතු වෙන කරුණු නම්

 

            1.      මවට ඇතිවෙන ආසාදන තත්වයන්.

මවට වෛරස රෝග තත්වයක් ඇතිවීම සමහර විට ගබ්සාවීමට හේතු වෙනව. තද උණ, දරු ගැබට වෛරස ආසාදන වීම වැනි කරුණු මෙයට හේතු වෙන්න පුළුවන්. ගැබ් ගෙල හරහා ගර්භාෂයට විෂබීජ ඇතුල් වීම නිසා ගබ්සාවෙන අවස්ථා කලාතුරකින් දක්නට ලැබෙන අතර බොහෝ විට මෙවැනි ගබ්සාවීම සිදු වෙන්නෙ මුල් මාස තුනට පසුයි. 

            2.      මවගේ රෝග තත්වයන්.

දියවැඩියාව, තයිරොයිඩ් හෝමෝන අසාමාන්‍ය තත්වයන් වැනි රෝග නිසි ලෙස පාලනය කර නොගත හොත් ඒ නිසා ගබ්සා වීමට අවදානමක් තිබෙනව.  

            3.      ගර්භණී සමයේ මවගේ සිරුරේ හෝමෝන මට්ටම් නිසි පරිදි නොපැවතීම

ගර්භාෂය ගර්භණී තත්වයෙන් පවත්වා ගැනීමට ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය දායක වේ. ගර්භණී සමයේ මෙම හෝමෝනය නියමිත ප්‍රමාණයට නිපදවෙන්නෙ නැතිනම් ඒ නිසා ගබ්සා වීමට ඉඩ තිබෙනව. එය වළක්වා ගන්න සමහර විට වෛද්‍යවරු ප්‍රොජෙස්ටරෝන් පෙති හෝ නික්ෂේපණ නිර්දේශ කරන අවස්තා තිබෙනව. මුල් සති කිහිපය තුල වැදෑමහෙන් නිපදවෙන HCG හෝමෝනය දරු ගැබ ආරක්ෂිතව තබා ගන්න අවශ්‍යයි. ඒ නිසා මෙම හෝමෝන ප්‍රමාණය අඩු වීමත් ගබ්සා වීමට බලපාන්න පුළුවන්. 

               4.      මවගේ රුධිර කැටි ගැසීම වැඩි වෙන රෝග තත්වයන්.

දරු ගැබට පෝෂණය ලැබෙන්නේ, වැදෑමහ තුලට ගමන් කරන මවගේ රුධිරයෙන්. එම රුධිරය ඝනකම් වැඩිනම් වැදෑමහේ සියුම් රුධිර නාල අවහිර වී ඊට සපයන රුධිර ප්‍රමාණය අඩු වෙනව. එවිට ගබ්සා වීමට ඉඩ කඩ වැඩියි. එවැනි රෝග තත්වයක් ඇති විට රුධිර කැටි ගැසීම අඩු කරන්න ඇස්පිරින්, හෙපරින් වැනි ඖෂධ ලබා දීමෙන් ගබ්සා වීමේ අවදානම අඩු කර ගන්න හැකියාව තිබෙනව. 

                5.      මවගේ ගර්භාෂයේ අසාමාන්‍යතා.

ගර්භාෂයේ ඇතුළත බිත්තියට නෙරා තිබෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩි, ගර්භාෂය මැදින් දෙකට බෙදෙන පරිදි බිත්තියක් (uterine septum) පැවතීම වැනි කරුණු නිසා ගබ්සාවන් ඇති වෙන්න පුළුවන්. මෙවැනි රෝග තත්වයන් හිස්ටරොස්කොපි (hysteroscopy) සැත්කමක් මගින් නිවැරදි කිරීමෙන් නැවත එවැනි ගබ්සාවක් සිදුවීම වළක්වා ගන්න පුළුවන්. 

                 6.      යෝනි මාර්ගය තුල ඇති ආසාදන තත්වයන්

Bacterial vaginosis වැනි ආසාදන තත්වයන් සඳහා නිසි ප්‍රතිකාර සිදු නොකල හොත් එමගිනුත් ගැබ් ගෙල හරහා විෂබීජ ඇතුළු වීමට අවදානම වැඩි වෙනව. 

      ඉහත හේතු වලින් බොහොමයක්ම නැවත නැවත ගබ්සාවීමට බලපාන්නෙ නැහැ. ඒ නිසා එක් ගබ්සාවීමක් සිදුවූ පමණින් නැවත වරක් එසේ වේයැයි බිය වීමට හේතුවක් නැහැ.

ගර්භණී සමය අපි ත්‍රෛයිමාසික තුනකට බෙදා දැක්විය හැකිය. ඒ මෙසේය

  • සති 1 සිට සති 12 දක්වා පළමු ත්‍රෛයිමාසිකය
  • සති 13 සිට සති 28 දෙවන ත්‍රෛයිමාසිකය
  • සති 29 සිට 36 දක්වා තුන්වන ත්‍රෛයිමාසිකය

සාමාන්‍යයෙන් පළමු ත්‍රෛයිමාසිකය තුල ගබ්සාවක් සිදුවීමේ වැඩි ඉඩ කඩක් හා අවදානමක් ඇත. එහෙත් දෙවන හා තෙවන ත්‍රෛයිමාසිකයන් වලදී ගබ්සාවීමේ අවදානම අවම වන අතර එසේ සිදුවන්නේද කලාතුරකින්.

පළමු ත්‍රෛයිමාසිකයෙන් පසු ගබ්සාවක් සිදුවන්නේ ඇයි?

මේ සඳහා කාරණා කිහිපයක්ම බලපෑ හැකියි.

1 - දරු ගැබ යම් අසාමාන්‍යතාවක් සමග වැඩෙන අවස්ථාවක.

කළලයේ ජාන එසේත් නැත්නම් දේහ ලක්ෂණ පාරම්පරිකව ගෙන යන වර්ණ දේහ වල ඇති වන යම් යම් විකෘතිතාවයන් හේතු කොටගෙන ගබ්සාවක් සිදුවිය හැකිය. ඒ අනුව මවගේ කුසෙහි උපතින්ම දරුවකු ජානමය ගැටලූ සහිතව වර්ධනය වන විට ඇති වන ශාරීරික අඩු පාඩු හේතු කොට ගෙන තව දුරටත් දරුවාට ජීවත්වීම අපහසු බැවින් දරුවා කුස තුලදීම මියයන්නට හෝ ඉපදී දින කිහිපයකට පසුව මිය යාහැකිය. මෙය ස්වභාවිකවම සිදු වන ක්‍රියාදාමයකි.

2 - දරු ගැබෙහි ඇති වන යම් රෝග තත්ත්වයන් නිසා

දරුවාගේ හෘදය වස්තුව, මොළය, සුසුම්නාව හා ස්නායු පද්ධතිය නිසියාකාරව වර්ධනය නොවීම නිසා ගබ්සා විය හැකිය. සමහර විට මෙම තත්ත්වය ෆෝලික් ඇසිඞ් හා විටමින් නිසියාකාරව නොගැනීම නිසා සිදු විය හැකිය.

3 - මවගේ ගර්භාෂයේ යම් අසාමාන්‍යතාවයක් නිසා

සාමාන්‍යයෙන් මිනිසුන්ට ඇත්තේ එක් ගර්භාෂයක් පමණි. එහෙත් ඇතැම් අවස්ථාවක මවගේ ගර්භාෂය දෙකට බෙදීමකට ලක්ව හෝ වෙනයම් අසාමන්‍ය තත්ත්වයක් සහිතව පිහිටා ඇති අවස්ථාවක දරුවාගේ වර්ධනය එය බාධාවක් වන නිසා දරුවා නීරෝගීව වැඞීම අඩාල වී ගබ්සා විය හැකිය.

4 - ගර්භාෂයේ ඇති වන ෆයිබ්‍රොයිඞ් ගෙඩි නිසා

ෆයිබ්‍රොයිඞ් ගෙඩි ති‍බෙන කාන්තාවක් ගැබ් ගත් පසු අසාමාන්‍ය ලෙස ෆයිබ්‍රෙයිඞ් ගෙඩි ගර්භාෂය තුලට නෙරා ඒමෙන් දරුවාගේ වර්ධනයට බාධාවක් වී දරුවාගේ වැඩීම අඩාල වී ගබ්සා විය හැකිය. නමුත් කළලයට බාධාවක් නොවන ලෙස ෆයිබ්‍රොයිඞ් ගෙඩි ඇත්නම් ගබ්සා වීමක් සිදුනොවේ.

5 - මවගේ ගැබ් ගෙලෙහි ඇති අසාමාන්‍යතාවයක් නිසා.

ගැබ් ගෙල යනු ගර්භාෂය යෝනීමාර්ගයට විවර වන ස්ථානයයි. දරු ගැබ වර්ධනය වන විට දරා ගත හැකිවන්නේ ගැබ් ගෙල ශක්තිමත්ව තිබුණහොත්ය. යම් හෙයකින් ගැබ් ගෙල ඉතා කුඩා හෝ දුර්වල නම් කළලය පිටතට පැමිණීම නිසා ගබ්සාවීමේ අවදානමක් ඇත.

6 - මව රුධිරය ඉක්මණින් කැටි ගැසීමේ රෝගයකින් පෙලීම.

රුධිරය කැටි ගැසීම නිසා ගර්භාෂය හා වැදෑමහ අතර රුධිරය කැටි ගැසීම නිසා කළලය පෝෂණයට බාධාවක් වේ. කළලයේ වර්ධනයට බාධාවක් වන හෙයින් ගබ්සාවක් සිදු විය හැකිය.

7 - කළලවාරික තරලයට විෂ බීජයක් ඇතුල්වීම නිසා

සාමාන්‍ය ලෙස පවසන පරිදි වෝටර් බෑගය බීදී යාමෙන් ගර්භාෂය තුලට විෂ බීජ ඇතුල්වීමේ අවදානමක් ඇත යම් හෙයකි වෝටර් බෑගය බිඳී විෂබීජ ඇතුල්වීම නිසා ගබ්සාවීමට අවදානමක් ඇත.

 

පළමු ත්‍රෛයිමාසිකයන්ට පසුව ඇති වන ගබ්සාවක පූර්ව ලක්ෂණ

සාමාන්‍යයෙන් නීරෝගී මවකට සති 13ත් 28ත් අතර උදරයේ වේදනාවක් ඇති නොවේ. එනිසා අසාමාන්‍ය ලෙස උදරයේ වේදනාවත් සමග යෝනී මාර්ගයෙන් රුධිරය පිටවීමක් සිදු වුවහොත් වහාම ඔබේ ප‍්‍රසව හා නාරි වෛද්‍යවරයා වෙත දන්වා සිටිය යුතුය.

විෂබීජයක් ආසාදනය වූ අවස්ථාවක නම් මවට තද උණ ඇති වීම, යෝනී මාර්ගයෙන් ශ‍්‍රාවයක් පිටවීම වැනි රෝග ලක්ෂණ ඇතිවේ.

මෙවැනි ගබ්සා වීම් වලක්වා ගත හැකිද?

දරු ගැබ යම් අසාමාන්‍යතාවක් සමග වැඩෙන අවස්ථාවක එවැනි ගබ්සාවක් වලක්වාලීමට හැකියාවක් නැත. එය කලින් දැක්වූවා සේම ස්වභාව ධර්මයේ නියමට අනුව සිදුවන්නකි. කෙසේ වෙතත් ඇතැම් දරුවන් බොහෝ අඩු පාඩු සහිතව උපත ලබා කෙටි කලක් හෝ දීර්ඝ කාලයක් ජීවත් වන අවස්ථා ද ඇත.

දරු ගැබෙහි අසාමාන්‍යතායක් නොමැති අවස්ථාවක ගබ්සා වීම වලක්විය හැකි ප්‍රතිකාර ක්‍රම තිබේ.

ගර්භාෂය තුල ඇති කළලය පිටතට ඒම වලක්වා ලමින් අගුලූ දැමූ දොරටුවක් සේ කියා කරන්නේ ගැබ් ගෙලය. ප‍්‍රසූතිය සිදු වන විට ගැබ් ගෙල අගුලූ හැර සෙමෙන් සෙමෙන් විස්තාරණය වේ. ගැබ්ගෙල දුර්වලතාවයක් ඇති බව කල් ඇතිව දැන ගැනීමෙන් ගැබ් ගෙලට මැහුම් දැමීමෙන් අනවශ්‍ය ලෙස ගැබ් ගෙල විවිර වීම වලක්වා ගබ්සා වීම වැලැක්වීමට පුළුවන්. මෙය සාමාන්‍යයෙන් සිදු කරන්නෙ යෝනි මාර්ගය හරහායි. නමුත් එවැනි මැහුම් අසාර්ථක වෙන අවස්තාවලදී ලැපරොස්කොපි ක්‍රමයට ගැබ්ගෙලේ ඉහල කොටසට මැහුමක් දැමීමට දැන් නවීන තාක්ෂණ පහසුකම් ඇත.

මව රුධිරය ඉක්මණින් කැටි ගැසීමේ රෝගයකින් පෙලෙන විට ඒ සඳහා ඇස්ප‍්‍රීන් වැනි ඖෂධ සහ වෙනත් ප‍්‍රතිකාර ක‍්‍රම මගින් ගබ්සා වීමේ අවදානම අවම කර ගත හැකිය.

කළලවාරික තරලයට විෂ බීජයක් ඇතුල්වී ඇති විට මව රෝහල් ගත කොට යම් යම් පරික්ෂණ වලට භාජනය කරමින් විෂබීජ ආසාදන වලක්වා ගැනීමට ප්‍රතිජීවක් ප‍තිජීවක ඖෂධ ලබා දෙයි. එසේම දරුවාගේ පෙනහඵ වර්ධනය කිරීමට ප‍්‍රතිකාර ලබා දීමත් සිදු කරයි. හැකිතාක් මවගේ කුස තුල දරුවාගේ වර්ධනය ඇති කිරීමට උත්සහ දරන නමුත් මවගේ ජීවිතයට යම් තර්ජනයක් එල්ල වී ඇති අවස්ථාවකදී දරුවා කොපමණ වර්ධනය වී තිබේ දැයි පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වා කලලය මවගෙන් ඉවත් කරන අවස්ථාද ඇත. මෙය Chorioamnionitis ලෙස හැඳින්වෙන අතර මෙවන් අවස්ථා ඇති වන්නේ ඉතාම කලාතුරකිනි.

සටහන දිශාන්ති වෙදගේ