රුබෙල්ලා කියන්නෙ වෛරසයක් මගින් බෝවෙන රෝගයක්. ජර්මන් සරම්ප කියල කියන්නෙත් මේ රෝග තත්වයට මයි. රුබෙල්ලා ආසාදනය වෙනත් වෛරස ආසාදන වගේ ගැබිනි මවගේ සෞඛ්‍යයට එතරම් හානිකර වෙන්නෙ නැහැ.  සාමාන්‍ය සෙම්ප්‍රතිශාව උණ තත්වයක් ලෙස මෙය වැලඳෙන්න පුළුවන්. ඉන් පසු සමේ සරම්ප වැනි ලප මතු වීමට ඉඩ තිබෙනව. බොහෝ විට මෙය ඉබේම දින 7 - 10 අතර කාලයක් තුල සුව වෙන අතර උණ සහ අනිකුත් රෝග ලක්ෂණ පාලනය කර ගැනීමට පැරසිටමෝල් වැනි ඖෂධයක් ගැනීම ප්‍රමාණවත් වෙනව.

නමුත්  මෙම වෛරසය වැදෑමහ හරහා දරු ගැබ ආසාදනය කිරීමට හැකියි. ඒ  සමග දරුවාට ඇති වෙන බලපෑම වෛරසය ශරීර ගතවන කාල සීමාව අනුව වෙනස් වෙනව. ගර්භණී මවකට මුල් මාස කිහිපය තුල රුබෙල්ලා ආසාදනය ඇති වුව හොත් Congenital Rubella Syndrome නම් දරුණු රෝග තත්වය දරු ගැබට ඇති වෙන්න පුළුවන්. එවැනි දරුවන් හෘදය සහ ස්නායු පද්ධතියේ දරුණු ආබාධ, ඇස් පෙනීම සහ කන් ඇසීම ඉතා දුර්වල වීම, මන්ද බුද්ධික බව වැනි උපත් ආබාධ සහිතව උපදින්නෙ. ඊට අමතරව මල දරු උපත්, ගබ්සා වීම, බර අඩු වීම සහ නො මේරූ දරු උපත් වැනි තත්වයන් රුබෙල්ලා ආසාදනය නිසා ඇති වෙනව. මුල් මාස තුනෙන් පසුව රෝගය වැළදෙන විට එතරම් දරුණු සංකූලතා ඇති වීමට හැකියාව තරමක් අඩුයි. නමුත් කන් ඇසීම දුර්වල වීම වැනි තත්වයන් දරුවාට ඇති වෙන්න මේ නිසා ඉඩ තිබෙනව.

රුබෙල්ලා රෝගය සඳහා ප්‍රතිශක්තිකරණ එන්නතක් තිබෙනව. එමගින් රෝගය වැළඳීම සහ ඉන් දරු ගැබට හානි වීම වළක්වා ගන්න පුළුවන්.  කලින් මෙම එන්නත ලබා ගැනීම මගින් හෝ රුබෙල්ලා රෝගය වැළඳීමෙන් ශරීරය තුළ මෙම රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය ඇති වෙනව. එලෙස ප්‍රතිශක්තිය තිබෙන කාන්තාවන්ට ගර්භණී සමයේ දී රුබෙල්ලා රෝගය වැළඳීමට ඇති හැකියාව ඉතා අඩුයි. කලකට පෙර කාන්තාවන් සඳහා පමණක් රුබෙල්ලා එන්නත ලබා දුන් නමුත් දැන් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන මගින් සෑම දරුවෙකුට ම MMR එන්නත ලබා දෙනව. එමගින් සරම්ප කම්මුල් ගාය සහ රුබෙල්ලා කියන රෝග තුනට ම ප්‍රතිශක්තිය ලැබෙනව.

ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තු කාන්තාවක් නම් අනිවාර්යයෙන් ම රුබෙල්ලා රෝගයෙන් ආරක්ෂිත දැයි සොයා බලන්න. කලින් එන්නත ලබා ගත් බව ඔබට අමතක නම් නැවත වෛද්‍ය වරයෙකු හමුවී එන්නත ලබා ගන්න පුළුවන්. මාස තුනක් ඇතුළත ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවන්ට සහ ගර්භණී කාන්තාවන්ට මෙම එන්නත ලබා ගැනීම නිර්දේශ කරන්නෙ නැහැ. එවිට රුධිර පරීක්ෂාවක් (Rubella antibody test) මගින් දැනට රුබෙල්ලා රෝගයට එරෙහි ප්‍රතිශක්තිය ඇති දැයි සොයා බලන්න පුළුවන්. එම පරීක්ෂණයෙන් රුබෙල්ලා ප්‍රතිදේහ ඇති බව තහවුරු වුව හොත් ඇයට ගැබිනි කාලයේ රුබෙල්ලා රෝගය වැළඳීමේ අවදානම ඉතා අඩුයි.