අනපේක්ෂිත ලිංගික සංසර්ගයකට පසුව දරු පිළිසිඳ ගැනීමක් ඇති වීම වළක්වා ගැනීමට භාවිතා කරන නවීන උපත් පාලන ක්‍රම ගැන මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ. හදිසි උපත් පාලන ක්‍රම කියන්නෙ ලිංගික එක්වීමට පසුව භාවිතා කල හැකි උපත් පාලන ක්‍රම වලට. මේවා අවශ්‍ය වෙන්නෙ හදිසි අනාරක්ෂිත සංසර්ගයකට පසුව හෝ භාවිතා කරන උපත් පාලන ක්‍රමය අසාර්ථක වූ (උදා: කොන්ඩමය පිපිරීම, උපත් පාලන පෙති ලබා ගැනීමට අමතක වීම) අවස්තා වලදී. මෙය කිසිසේත්ම එදිනෙදා උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිතා නො කල යුතුයි.

මෙවැනි ක්‍රම 2 ක් දැනට ලංකාවේ ලබා ගත හැකියි.


1. හදිසි උපත් පාලන පෙති.

දැනට ලංකාවේ postinor යන වෙළඳ නාමය යටතේ හදිසි උපත් පාලන පෙති අලෙවි කරනව. මෙය බොහෝ ඖෂධ වෙලඳ සැල් වලින් ලබා ගන්න පුළුවන්. එහි අඩංගු වෙන්නේ levenogestrel කියන ඖෂධය. පෙති දෙකක් ලෙස හෝ එක පෙත්තක් ලෙස මෙය ලබා ගත හැකියි. මෙම පෙත්තක සාමාන්‍ය උපත් පාලන පෙත්තක තිබෙන ප්‍රමාණය මෙන් දස ගුණයක් levenogestrel කියන ඖෂධය අඩංගු වෙනව.

ලිංගික එක්වීමෙන් පැය 96 ක් දක්වා  levenogestrel 1.5mg (postinor1 පෙති 1ක් හෝ postinor 2 පෙති 2ක් එකවර)  ලබා ගැනීම හදිසි උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිතා කල හැකියි. මෙහි සාර්ථක බව 52 - 94ත් අතර වෙනව. සාමාන්‍යයෙන් 80%ක් පමණ පිළිසිඳ ගැනීම මෙමගින් වළක්වා ගත හැකියි. නමුත් මෙය හැකි ඉක්මනින් ගැනීමෙන් සාර්ථකත්වය වැඩි වෙනව.

මෙම ඖෂධය ක්‍රියා කරන්නේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිට වීම වැළැක්වීම මගින්. ඊට අමතරව ගැබ් ගෙල හරහා ශුක්‍රාණු ගමන් කිරීම අඩපණ කිරීමත් ගර්භාෂය තුල කලලයක් තැන්පත් වීමට නුසුදුසු පරිසරයක් ඇති කිරීමත් මේ මගින් සිදු වන බවට අනුමාන කරනව. නමුත් දැනට තිබෙන අළුත්ම වෛද්‍ය විද්‍යාත්මක දත්ත අනුව, මෙම ඖෂධය සාර්තක වන්නේ ඩිම්බ පිටවීමට කලින් ලබා ගතහොත් පමනයි. ඒ නිසා ඔසප් චක්‍රයේ අවසාන දින 14 තුල මෙම පෙති ලබා ගැනීම මගින් ගැබ් ගැනීම වලක්වන්න බැහැ.

මෙම ඖෂධය මගින් ගබ්සාවීමක් සිදු නොවන නිසා, කලලය තැන්පත් වූ පසුව මෙය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

වමනය ඕක්කාරය, ඔසප් වීම අක්‍රමික වීම වැනි සංකූලතා මේ නිසා ඇති වෙන්න පුළුවන්. ඖෂධය ලබා ගෙන පැය දෙකක් ඇතුළත වමනය ගිය හොත් නැවත එම මාත්‍රාවෙන් ම ඖෂධය ලබා ගත යුතුයි. නියමිත දිනට දින 7කට වඩා ඔසප් වීම පමා වුව හොත් මුත්‍රා පරීක්ෂණයක් කර ගර්භණී දැයි පරීක්ෂා කල යුතු වෙනව. Levenogestrel අඩංගු හදිසි උපත් පාලන පෙති අසාර්ථක වෙන අවස්තා ගැන වෙනම ලිපියකින් විස්තර කර තිබෙනව. 

postinor


2. අන්තර් ගර්භාෂිත ලූපය.

මෙය වෛද්‍ය වරයෙකු විසින් ගැබ ගෙල හරහා ගර්භාෂය තුලට ඇතුල් කල හැකි කුඩා උපකරණයක්. මෙමගින් කලලයක් ගර්භාෂය තුල තැන්පත් වීම වලක්වනව. අනාරක්ෂිත සංසර්ගයෙන් දින 5ක ඇතුළත ලූපයක් තැන්පත් කිරීම මගින් අනවශ්‍ය ගැබ් ගැනීමක් වළක්වා ගත හැකියි. මෙය හෝමෝන පෙති වලට වඩා විශ්වාසදායකයි. මෙය මගින් ගැබ් ගැනීම 99%කින්ම වළක්වා ගැනීමට පුළුවන්. අවශ්‍ය නම් ඉදිරියත් අවුරුදු 10ක් දක්වා මෙම ලූපය උපත් පාලන ක්‍රමයක් ලෙස දිගටම භාවිතා කිරීමට හැකි වීම මෙහි අමතර වාසියක්.

Intra Uterine Device
3. සාමාන්‍ය උපත් පාලන පෙති අධික මාත්‍රාවකින් ගැනීම. (Yuzpe method) (මිතුරි වැනි සාමාන්‍ය උපත් පාලන පෙති 4ක් එක වර ගෙන තවත් පැය 12කින් නැවත පෙති 4ක් එක වර ගැනීම) හදියි ගැබ් ගැනීම වලක්වන ක්‍රමයක් ලෙස කලින් නිර්දේශ කලත්, දැන් මේ ක්‍රමය නිර්දේශ කරන්නෙ නැහැ. 

 

හදිසි උපත් පාලන පෙති වරින් වර නිතරම ගැනීම එතරම් සුදුසු නැහැ. මේවායේ අඩංගු හෝමෝන මාත්‍රාව ඉතා අධිකයි. එම නිසා සංකූලතා ඇතිවීමේ හැකියාව වැඩියි. ඒ වගේම හදිසි උපත් පාලන පෙති මගින් ගැබ් ගැනීමක් 100%කින් වළක්වන්න බැහැ. අනික් උපත් පාලන ක්‍රම මීට වඩා විශ්වාසදායක මෙන් ම ආරක්ෂා සහිතයි. ඔබට සුදුසු උපත් පාලන ක්‍රමයක් වෛද්‍ය වරයෙකු සමග සාකච්ඡා කර තෝරා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)